Saturday, July 12, 2014

වැහි බිඳිති - (පලමු කොටස)


පුංචි යූ උදේම ගෙදරින් පිටවුනේ ඇද හැලෙන්න මාන බලාන හිටපු වැස්ස ගැනවත් හිතන්නේ නැතිව. ඉක්මනට යන්න ඔන ඉස්කෝලෙට. දවසින් දවස ලමයි අඩුවෙලා යූ හා තව එක සිසුවෙකුට පමනක් ඉන්න පන්තියේ සර් ඇය එනකන් දෑස් දල්වාගෙන බලා ඉන්න බව ඇය දන්නවා. දිය සෙවෙල් බැදුන ගල්, වතුර පිරි මඩ වලවල්, පාර හරස් කරගෙන ඉන්න මී හරක් නාම්බෝ පුංචි යූ ගානකට වත් ගන්නේ නෑ. අයියෝ කොච්චර ඉක්මනට ගියත් යූ අදත් පරක්කු වෙලා නේ. ඒමදිවට වැස්සත් යූට අනුකම්පා නොකොට ඇදහැලුනානේ.

"මට සමාවෙන්න සර්, මා පරක්කු උනා" පුංචි යූට මේ වචන කටපාඩම්. ඒ කම්මැලි කෙල්ලෙක් නිසා නොවේ. මේ කුඩා පාසලට යූගේ ගෙදර ඉදලා ගොඩාක් දුර නිසා. " කමක් නෑ දුවේ. වාඩි වෙන්න" ගුරුතුමා සුපුරුදු සෙනෙහසින් කිවුවේ පාඩම ඇරඹීමට පොත අතට ගනිමින්මයි. යූ හරිම දක්ශ සිසු දියණියක්, ගුරුතුමා ඇයට හරිම ආදරෙයි ඒවගේම ඇය ගැන රහසින් ආඩම්බර වෙනවා. අහන හැම ප්‍රශ්ණයකටම නිවැරදිම පිලිතුර දෙන, නිර්භීත හා බුද්ධිමත් මේ දැරිය කවදා හෝ ගමටම ආඩම්බරයක් ගෙන දෙනු ඇතැයි ඔහු විශ්වාස කලා. ඒත් වෙනදා මෙන පන්තිය දිගටම කරගෙන යන්න නම් උනේ නෑ. යූගේ අය්යා හති දාගෙන දුවගෙන ආවේ යූට සතුටු දායක පුවතක් අරගෙන.

"ඉතාලියේ ඉදන් ලොකු මාමා ඇවිත්" පුංචි යූගේ අය්යා ආරංචිය කීවේ මහත් සතුටින්. දෙන්නාම ලොකු මාමා ගැන අම්මා කියන ආඩම්බර කතා අසා තිබුනත් ඔහු කිසිදා දැක තිබුනේ නෑ. ගම බලන්න ආ විදේශිකයෙකු හා මිතුරුව ඉතාලියට කුඩා කලම ගිය යූගේ ලොකු මාමා ඉදහිට එවන ලියුම් කඩදාසියක් යූගේ අම්මාට දිනගනනාවකට පාරම් බෑමට අවකාශ දෙන්නේය. ඔහු හදිසියේ ඇවිදින්. පුංචි යූට සතුට ඉහවහා ගිහින්. පාඩමට ආස උනත් දැන්නම් යූට ගෙදර යන්නමයි හිත. මේ කුඩා දියණියගේ සිතුම් වටහා ගත් ගුරුතුමා ඇයට යන්න ඉඩ දුන්නේය. මිටින් හල කිරිල්ලියක සේ ඇය අය්යා කැටුව නිවස බලා ඉගිල්ලෙන්නට වූවාය.

ඔවුන් නිවසට යනවිට ගෙදර එකම කලබලයකි. ගම්මුලාදෑනියා, වෙදමහතා හා ගමේ එකි මෙකී නොකී සියල්ලන්ම ගෙදරට රැස්වී සිටියහ. මව පැමිණි පිරිසට සංග්‍රහ කරමින්ද, පියා ගම්මුලැදෑනී සමග දොඩමලු වෙමින්ද සිටියහ. මේ අතර ජේත්තුවට ඇඳ පිරිස මැද කැපී පෙනුන ලොකු මාමා හඳුනාගැනීමට යූට වැඩි වේලා ගත නොවුනි.


No comments:

Post a Comment